සිනහව මිල කල නොහැක

ඔබේ සිනහවේ ඇති වටිනාකම කෙතරම්ද යන්න ඔබට කවදාක හෝ දැනී ඇත්ද?

 සිනහව ගැන බොහෝ වදන් එදා මෙදා තුර හමු වී ඇති නමුත් සිනහවකට කොයි තරම් බලපෑමක් කරන්නට පුළුවන්ද කියල ප්‍රායෝගිකව මගෙ ජීවිතේට තදින්ම දැනුන දවසක් අද. අපි හුඟ දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ අවංකව හදවතින් හිනා වෙන්න නෙවෙයි. බොහෝ වෙලවට සමච්චලේට, මූනිච්චාවට  තව කෙනෙකුට හිනා වෙන්න. බොහෝ දෙනෙක් බොහෝ වාරයක් ඔයා හැම වෙලේම හිනා වෙලා ඉන්නෙ. ඔයාගෙ හිනාව ලස්සනයි කියල මට කියල තිබුනත් මගේ ඒ හිනාවට ඇත්තටම වටිනාකමක් තියෙනව කියල මට තදින්ම දැනුනෙ අද. (මගෙ හිනාව මෙලෝ රහක් නැති එකක් කියලමයි මට හිතෙන්න හැබැයි 😀) එදිනෙදා ජීවිතේ මට හම්බෙන ඕනෙම කෙනෙක් එක්ක තරාතිරමක් නැතිව දෙපාරක් හිතන්නෙ නැතිව මං හිනාවෙනව. ඕනෙම කෙනෙක් එක්ක මං හරි සුහදව කතා කරනව. ඒක මට පුංචි කාලෙ ඉදන්ම ආව පුරුද්දක්. සමහරක් විට ඒක සමහර දෙනෙක්ට මං ගැන වැරදි දෘෂ්ටිකෝණෙකින් බලන්න හේතුවක් වෙන්නත් පුළුවන්. ඒත් අපිට කිසිම මහන්සියක් වියදමක් නැතුව තවත් මනුස්සයෙක්ට දෙන්න පුළුවන් වටිනාම දේ සිනහව කියල මට අද ප්‍රත්‍යක්ෂ උනා.


ඔෆිස් එකේ පුංචි වැඩකට මට අද මහ ගිනි අව්වෙ එලියට යන්න උනා. ඉතින් දාඩිය දාගෙන තමා ඔෆිස් එකට එන්න උනේ. වෙන්ද වගේම සිකියුරිටි පුරුදු විදියටම මං වෙනුවෙන් දොර ඇරිය. රස්නෙත් එක්ක දාඩිය දාගෙන ආවත් වෙනද වගේම ඉබේටම මගෙ පුරුදු හිනාව මං ඔහුට දුන්න. මම දන්නෙ නැති වෙනත් රටක ජාතිකයෙක් වෙච්ච හොදින් හදුනන්නෙ නැති ඔහු මට කියනව ඔයාගෙ හිනාවට මම හරිම කැමතියි. ඔයා හැම වෙලේම හිනා වෙලා ඉන්නෙ. මොනව හරි ප්‍රශ්නෙක හිටියත් ඔයා හිනා වෙලා එනකොට අපේ හිත ඉබේම සැහැල්ලු වෙනව කියල. නොහිතපු වෙලාවක නොහිතපු කෙනෙක්ගෙන් ඒ වගේ කතාවක් ඇහුවම ඒක මගෙ හිතේ තදින්ම කා වැදුන. ඔහු කියනව අනේ ඒ හිනාව හැමදාම තියාගන්න කියලත්. මට කියන්න ඕනෙ උනේ මගෙ හිනාව ගැන නෙවෙයි. අපි නොහිතුවට අපි තවත් කෙනෙක්ට දෙන පුංචි හිනාවකට මොන තරම් ලොකු දෙයක් කරන්න පුළුවන්ද කියල. මනුස්සයෙක්ට මොන තරම් සහනයක් දෙන්න පුළුවන්ද අපිට අපේ හිනාවකින්. ලොකු මානසික පීඩනයක ඉන්න කෙනෙක්ට තප්පර ගානකට හරි සැහැල්ලුවක් දෙන්න පුළුවන්. විශේෂම දේ ඔබ තව කෙනෙක්ට හිනාවකින් සංග්‍රහ කරනවනම් කිසිම අවස්තාවක ඒ පුද්ගලයගෙ තරාතිරම බලල එහෙම කරන්න එපා. අපි හැමෝම ඇට, මස්, ලේ, නහර වලින් හැදිච්ච මිනිස්සු. මනුශ්‍යත්වය විතරක්ම ඇති හිනාවක් පිළිගන්වන්න.


නිර්ලෝභීව ඔබේ වටිනා සිනහවෙන් ඔබට හමුවන සෑම කෙනෙකුටම සංග්‍රහ කිරීමට අමතක නොකරන්න.

Comments